සුමිත්‍රා පීරිස් මෙලොව එළිය දුටුවේ සුමිත්‍රා ගුණවර්ධන නමිනි. ඒ 1935 මාර්තු 24 වෙනිදාය. ඇය උපත ලැබුවේ ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට මාක්ස්වාදී චරිතයක් වන බොරලුගොඩ ගුණවර්ධනයන්ට ඥාතීත්වය දරන පවුලකය. ඇයගේ පියා හෙන්රි ගුණවර්ධන (හැරී ගුණවර්ධන) වූ අතර ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිතීඥයෙකු ලෙස කටයුතු කළේය. ඇයගේ මව වූ හැරියට් වික්‍රමසිංහ සාමාන්‍ය මධ්‍යම පාන්තික කාන්තාවක් විය.
සුමිත්‍රා ඉගෙනීම ආරම්භ කළේ අවිස්සාවෙල්ල විදුහලේදී ය. පසු කලෙක ඇය කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වූ අතර ලන්ඩන් උසස් පෙළ විභාගය සඳහා ඉගෙනුම ලැබුවේ කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයෙනි.
සුමිත්‍රා පීරිස් සිනමා අධ්‍යක්ෂවරියක ලෙස ප්‍රකට වුව ද, ඇය දක්ෂ සංස්කාරකවරියක බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විශිෂ්ටත්වයේ ලා සැලකෙන සිනමා නිර්මාණ වැඩි සංඛ්‍යාවක සංස්කාරකවරිය ලෙස කටයුතු කළේ සුමිත්‍රා පීරිස් ය.
දෙලොවක් අතර (1967)
ගම්පෙරළිය (1968)
ගොළු හදවත (1969)
බක්මහ දීගේ (1971)
මඩොල් දූව (1976)
අහසින් පොළොවට (1978)
ඇයගේ සිනමා සංස්කරණයන් අවස්ථා රැසකදී සම්මානයට ද පාත්‍ර වී තිබේ.හොඳ ම සංස්කරණය සඳහා අහසින් පොළොවට, ගඟ අද්දර, ගම් පෙරළිය, දෙලොවක් අතර චිත්‍රපටවලට ජනාධිපති, සරසවි සහ ඕ.සී.අයි.සී. සම්මාන හිමි වී ඇත.
ඇය විශිෂ්ට සංස්කාරකවරියක් ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ විශිෂ්ට සිනමා කෘති රැසකටම දායක වී ඇත .
සුමිත්‍රා පීරිස් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ, සංස්කරණය ඇතුළු කාර්මික දැනුමක් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග එක්ව කටයුතු කිරීමෙන් ලද නිර්මාණ අත්දැකීම් සම්භාරයත් සමගිනි.
ඇය අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ කිහිපයක් මෙසේ ය.
ගැහැනු ළමයි (1978)
ගඟ අද්දර (1980)
යහළු යෙහෙළි (1982)
මායා (1984)
සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා (1988)
ලොකු දුව (1996)
දුවට මවක මිස (1997)
සක්මන් මළුව (2003)
යහළුවෝ (2009)
එම සිනමා නිර්මාණ අතරින් ගඟ අද්දර (ජනාධිපති සම්මාන, සරසවිය සම්මාන), යහළු යෙහෙළි (ජනාධිපති සම්මාන, ඕ.සී.අයි.සී. සම්මාන), ලොකු දුව (ජනාධිපති සම්මාන), දුවට මවක මිස (ජනාධිපති සම්මාන), මායා (සරසවිය සම්මාන), සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා (සරසවිය සම්මාන, ඕ.සී.අයි.සී. සම්මාන), ගැහැනු ළමයි (ඕ.සී.අයි.සී. සම්මාන) යන චිත්‍රපට සම්මානයෙන් පිදුම් ලැබීය.
ඊට අමතරව, ගැහැනු ළමයි චිත්‍රපටය Carthage International Film Festival හිදී සහ London Film Festival හිදී සම්මානයට පාත්‍ර වූ අතර ඇගේ තවත් චිත්‍රපට රැසක් ජපානය, ජර්මනිය, රුසියාව ඇතුලු රටවල් රැසක පැවති ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මානයට ලක් විය.
මේ අනුව ලාංකේය සිනමා ක්ෂේත්‍රයට ඇයගෙන් සිදුවූ මෙහෙවර මෙපමණයි කියා කීමට උගහටය .

No comments:
Post a Comment